Tax Talk with Heshani - බදු ගැන තේරෙන සිංහලෙන් -

Tax Talk with Heshani
- බදු ගැන තේරෙන සිංහලෙන් -

Share

Everything about Tax in Sri Lanka

Photos from CORPORATE COMPASS's post 16/10/2024

CORPORATE COMPASS

06/08/2024

මේ දවස්වල ඔයාලට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එන ලිපි පිළිබඳවයි මේ 📧😵‍💫😳

මේ දවස්වල බොහෝ දෙනෙක්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් (Inland Revenue Department) ලිපි ලැබෙනවා ඇති. ඒ ලියවිලි මොනවාද, ඒවා ඔබට වැදගත් වන්නේ කෙසේද, ඒ ලිපි ලැබුනු පසු ඔබ කුමක් කළ යුතුද කියා මේ ලිපියෙන් මම ඉදිරිපත් කරන්නම්.

1) බදු ගෙවන රිසිට් පත (Tax Payment Slip)

ඔබට ටැක්ස් ෆයිල් එකක් තිබේනම් අද හෙටම මේ ලිපිය ඔබට ලැබීමට නියමිතයි. ඔබේ බදු අංකය (TIN - Taxpayer Identification Number), ඔබේ නම , ලිපිනය සහ තව තොරතුරු කිහිපයක් සටහන් කළ පිටපත් තුනකින් යුත් බදු ගෙවීමේදී බැංකු කවුන්ටරයට ඉදිරිපත් කළ යුතු රිසිට් එකයි මේ. අගෝස්තු 15 යනු 2024/25 බදු වර්ශයේ පළමු කාර්තුවේ බද්ද ගෙවීමට ඇති අවසන් දවස. ඉතින්, ඔබේ ආදායම් බදු බැඳියාව නිවරදිව ගණනය කළ පසු එය ඔබට ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා ගෙවිය හැකියි. එහිදී ඔබේ මුදල් සමග බැංකුවට ඉදිරිපත් කළ යුත්තේ මේ රිසිට් පතයි. ඔබට ගෙවීමට බදු බැඳියාවක් නැත්නම් මේ රිසිට් පත අමතක කර දැමිය හැකියි.

2) ආදායම් බද්ද සඳහා ලියාපදිංචියට තොරතුරු ලබා ගැනීමේ ආකෘති පත්‍රය

මෙය පිටු 4 කින් යුතු ලියවිල්ලක්. කිසිසේත්ම ඉවත දැමිය යුතු නැති අතිශයින් වැදගත් ලියවිල්ලක්. ඔබ හොඳින් කියවුවහොත්, මෙහි ලියා ඇත්තේ මෙය දින 14 ක් ඇතුලත පුරවා එවන්න කියායි. එලෙසින්ම කරන්න උපරිම උත්සාහ කරන්න. ඔබට දැනටමත් TIN එකක් තිබියදී මේ ලිපිය ආවේ නම්, අමතර තොරතුරු නොපුරවා ඔබේ සහ සහකරුගේ (Spouse) TIN පමණක් ලියා, මෙය එවූ නිළදාරියාටම එක්කෝ ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගොස් භාර දෙන්න. එසේ නොකරොත් පහත අංක 3 ලිපිය ලැබෙන දිනයත් වැඩි ඈතක නැහැ🥴🥴

3) ඉල්ලූ තොරතුරු ලබා නොදුන් බව සඳහන් කර එවන සිහි කැඳවීම්

"Reminder on failure to submit information requested under Sec.123 of the Inland Revenue Act No.24 of 2017" මෙවැනි හෝ මීට ලඟ අදහසක් ඇති ලිපියක් ඔබට ලැබුන හොත් ඔබ වහාම ක්‍රියාත්මක විය යුතුයි. මින් අදහස් වන්නේ ඔබට මින් පෙර ලිපියක් එවා ඔබේ තොරතුරු විමසා ඇති නමුත් ඔබ ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි. එක්කෝ ඔබ යැවූ ප්‍රතිචාරය ඔවුන්ට නොලැබී ඇති බවයි. මේ ලිපිය ලැබී දින 14 ක් ඇතුලත මීටපිළිතුරු ලිපියක් ලියා එවූ නිළධාරියාටම යැවීම නුවණට හුරුයි. ඊට අමතරව හැකි නම් පසු විපරමක් කොට ඔබේ ලිපිය ඔහුට ලැබී ඇත්ද, ඔහු ඔබේ තොරතුරු නිවරදිව යාවත්කාලීන කරගෙන් ඇත් ද කියා සොයා බලන්න. නැතිනම් දෙවන සිහි කැඳවීම ලැබෙන දිනය වැඩි ඈතක නැහැ. 😵‍💫

මෙතන තිබෙන නීතිමය කාරණාව තමයි ඉහත සඳහන් කළ ආදායම් බදු පණතේ 123 වගන්තියෙන් ඔබේ තොරතුරු එලෙස විමසන්න ආදායම් බදු නිළධාරීන් වෙත බලය ලබා දී තිබෙනවා. ඒ නිසා ඒ තොරතුරු ලබා දීම ඔබ පැහැර හැරියොත් පණතේ 185(1) වගන්තිය අනුව උපරිම රු . මිලියනයක් දක්වා දඩයකට ඔබව යටත් කරන්නට ඔවුන්ට බලය තිබෙනවා.🫨🫨

ඒ වගේම ආදායම් බදු ලිපි සමඟ එන කවරයත් (envelope) ලිපිය තරමටම වැදගත් බවත් එය ලිපිය සමඟම තබා ගත යුතු බවත් මතක තබා ගන්න. 📩🧏‍♀️

ඉහත සඳහන් කළේ මේ දිනවල ඔබට පොදුවේ ලැබෙන ලියවිලි කිහිපයක් ගැන මූලික අදහසක් පමණයි. ඔබට මීට වෙනස් ලිපි ලැබී ඇත්නම් සුදුසු පරිදි ඒවාට නොපමාව ප්‍රතිචාර දැක්විය යුතු බව හොඳින් මතක තබා ගත යුතුයි 😌😌

ඉතින් ඔබට විසඳා ගත නොහැකි ඕනෑම බදු ගැටලුවක් තිබේනම්, සුදුසුකම් ලත් බදු උපදේශකයෙක්ගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වේවි... 👩‍🎓

ඔබට අවශ්‍ය නම්, ඔබේ බදු බර කළමනාකරණය කරන්න අපි සූදානම්. සියලු ආදායම් බදු ලිපි ලේඛන පිළිබඳ මූලික උපදෙස් අපි නොමිලේ ලබා දෙනවා. ඉතා සාධාරන ගාස්තු යටතේ අවශ්‍ය ලියවිලි සකස් කර, ආදායම් බදු නිළධාරීන් සමඟ කතා කර ඔබේ ගැටළු සියල්ල විසඳීමට අපිට පුළුවන්.

අපේ ප්‍රධාන බදු උපදේශිකා නීතිඥ Heshani Jayathissa

මේ අපේ පේජ් එක.
CORPORATE COMPASS
www.corporatecompassltd.com

ඔබේ ඕනෑම බදු ගැටළුවකට අමතන්න.

වට්සැප් / වොයිස්
+94 777 17 28 20

ස්තූතියි 🙏

Photos from Tax Talk with Heshani
- බදු ගැන තේරෙන සිංහලෙන් -'s post 07/02/2024

🎓 Honored to share my expertise! 📚

It was indeed an honor to impart my knowledge and experience on Tax Laws with the students and staff at prestigious APIIT Kandy Campus ❤️

🌟 A big thank you to the enthusiastic students and dedicated staff for making this experience truly memorable 🌟


12/01/2024

TN එක ගත්තා. ඊ ළඟට මොකද වෙන්නේ? 🧐🧐

ලංකාවේ ඉන්න වයස අවුරුදු 18 ට වැඩි අය වගේම පිටරට ඉන්න නමුත් ලංකාවේ වාසික තැනැත්තන් (Sri Lankan Resident persons) වන බොහෝ දෙනෙක් මේ වෙනකොටත් TIN එක අරගෙන ඇති. සමහර විට අද හෙටම ගන්න හිත හිතා ඇති. මේ TIN එක ගැන මූලික හැඳින්වීමක් වගේම පිටරට ඉන්න ඔබට TIN එක ගත යුතුද කියන කාරණා දෙක මම වෙනම ලිපි දෙකකින් පැහැදිලි කරලා තියනවා. ලින්ක් එක පහලින් දානම් . ඒ ගැනත් කියවලා බලලා දැනුවත් වෙන්න.

මේ TIN එක ලබා ගන්න රජය දීලා තියන සහන කාලය ගැන විවිධ තොරතුරු හුවමාරු වෙනවා. නමුත්, මේ වන තෙක් රජය අලුත් තොරතුරක් නිල වශයෙන් නිකුත් කරලා නැහැ. ඒ නිසා ඔබ තවම TIN එක අයදුම් කළේ නැත්නම් ප්‍රමාද නොවී එය ලබා ගන්න. මෙය ලබා නොගත්තොත් මොකද වෙන්නේ කියලා නිවැරදි මූලාශ්‍ර වලින් ලබා ගත් නිවැරදි තොරතුරු සමඟ තවත් ලිපියක් ඉන්මනින් ගෙන එන්නම්.

අපි කැමති උනත් අකමැති උනත් අපි ජීවත් වන රටේ පවතින නීති රීති වලට අපි අනුගත විය යුතුම යි. ඒ අනුව අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරණ ගැසට් නිවේදනය හරහා පනවපු මේ අනිවාර්ය TIN ලියාපදිංචිය, ඔයා වයස අවු. 18 ට වැඩි ශ්‍රී ලංකා වාසිකයෙක් (Resident person) නම් ඔබට ගන්නම වෙනවා.

ගොඩක් දෙනා මේ TIN එක ගන්න කියද්දී කලබල උනේ තමන්ට ආදායම් බද්දක් ගෙවන්න වෙයි ද කියලයි. අමාරුවෙන් කන්න බොන වියදම් ටික හොයා ගන්න අපිට මොන TIN ද කියලා තමා වැඩිදෙනා කිව්වේ. නමුත් ඇත්තම කතාව TIN එක ගත්තා කියන්නේ ඔයා දැන් ආදායම් බදු ගෙවන්න පටන් ගන්න ඕනා කියන එක නෙමෙයි. අද මම මේ ලිපියෙන් කියන්නේ TIN එක ගත්තට පස්සේ ඔයා මොකද කරන්න ඕනා කියලා.

මං ආදායම් බද්දට යටත් පුද්ගලයෙක්ද ? 😫😵‍💫

මේක තමා ඔයා මුලින්ම උත්තරේ හොයා ගන්න ඕන ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට ලැබෙන උත්තරේ අනුව ඊළඟ පියවර තීරණය වෙනවා. 2017 අංක 24 දරණ සංශෝධිත දේශීය ආදායම් පණතේ පස් වන උප ලේඛනයේ 2 (a) පරිච්ඡේදයට අනුව ලංකාවේ පුරවැසියන් වන වාසික සහ නිර්වාසික (Resident and Non-resident) දෙපිරිසටම වසරකට රු. 1,200,000/- ක බදු නිදහස් දීමනාවක් හිමි වෙනවා. සරලව කිව්වොත් තමන්ගේ වාර්ෂික ආදායමෙන් රු.1,200,000/- ක් වෙනකන් ආදායම් බද්දට යටත් වෙන්නේ නෑ . මේ මුදල මාසිකව ගත්තොත් මාසෙකට රු. 100,000/- ක්. ඉතින් මේ ආදායම් සීමාව ඉක්මවන ඕනම කෙනෙක් ආදායම් බද්දක් රජයට ගෙවන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.

ඉතින් ඔයාගේ ආදායම ඉහත සීමාවට අඩු නම් ඔයා TIN සහතිකය අරන් ඒක පරිස්සමට ගෙදර තියලා තියන්න 😁. අමතර වගකීම් මොකුත් ඔයාට පැවරෙන්නේ නෑ.🤗

නමුත් ඔයාගේ ආදායම ඉහත සීමාව ඉක්මවනවා නම් ඔබ ආදායම් බදු සදහා වෙනමම ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා ඔබට ඊට අදාල අයදුම්පතක් පුරවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) ප්‍රධාන කාර්යාලයට හෝ ලඟම ඇති IRD ප්‍රාදේශීය ශාඛාවකට භාර දිය හැකියි. නැතිනම් TIN registration එකෙන් පසුව ඔබ සදා ගත් IRD E-Service එකේ ඔබේ profile එක හරහාත් ඔබට මේ ආදායම් බදු සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්.

මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩියි. ඉතින් මන් ආදායම් බද්දට වෙනම ම ලියාපදිංචි වුණා. ඊ ලඟට මොකද වෙන්නේ?😵‍💫

ඊ ලඟ ප්‍රශ්නය තමයි මට බදු වශයෙන් රුපියල් කීයක් ගෙවන්න වෙයිද කියන එක. එන්න අපි මේ කාරණාව ටිකක් විශේෂයෙන් සොයා බලමු. මොකද ගොඩක් දෙනෙක්ට මේ බද්දට යටත් ආදායම් මොනවද කියලා හරි අදහසක් නැහැ .

කොහොමද මගේ බද්දට යටත් ආදයම සොයා ගන්නේ?🥸


2017 අංක 24 දරණ සංශෝධිත දේශීය ආදායම් පණතේ 4 වන වගන්තිය අනුව ලංකාවේ වාසික තැනැත්තෙක් (Sri Lankan Resident Person) එයාගේ පහත මූලාශ්‍ර වලින් ලැබෙන ගෝලීය ආදායමට (Global income) බදු ගෙවන්න ඕනා. (මම මෙතන කතා කරන්නේ වාසික තැනැත්තන් ගැන විතරයි. ඔබ නිර්වසික (Non-resident) නම් ඔබට ලිපියක් ඉදිරියේදී ගෙනෙන්නම්)

1. සේවා නියුක්ත ආදායම
2. ව්‍යාපාර ආදායම
3. ආයෝජන ආදායම
4. වෙනත් ආදායම්

මේ මූලාශ්‍ර ගැන සරල පැහැදිලි කිරීමක් මෙහෙම කරන්නම්.🤗

1. සේවා නියුක්ත ආදායම

ඒ කියන්නේ ඔයා යම් කිසි සේවා යෝජකයෙකු ලඟ සේවය කරලා ලබන ආදායම. මෙතෙන්දි ඔයාගේ වැටුප විතරක්ම නෙමෙයි, නිවාඩු දීමනා (leave pay), අතිකාල ගෙවීම් (overtime pay), ගාස්තු (fees), විශ්‍රාම වැටුප් (pensions), කොමිස් මුදල් (commission), පාරිතෝෂික (gratuity), බෝනස් වගේ විවිධාකාර දීමනා ඇතුළත් වෙනවා. නමුත් මතක තබා ගන්න ඔබට වැඩ කරන ආයතනයෙන් ලැබෙන සමහර ගෙවීම් බද්දට යටත් ආදායම් ලෙස සලකා බැලෙන්නේ නැහැ. (උදා - සමහර දන්ත වෛද්‍ය, වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් සදහා ඔබේ ආයතනය ඔබ වෙනුවෙන් යම් වියදමක් දරනවා නම් එම වියදම ඔබට ලැබෙන ප්‍රතිලාභයක් වුණත් එය සේවා නියුක්තික ආදායම ගණනයෙදී සලකා බැලෙන්නේ නැහැ).

2. ව්‍යාපාර ආදායම

ඔබට ඔබේ නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් තිබේ නම් ඉන් ලැබෙන ලාභය ආදායම් බද්දට යටත් වෙනවා. මේ ලාභය ගණනය කරන්නේ ඔබේ ආදායමෙන් වියදම් අඩු කිරීමෙන් . නමුත් ඔබේ ගිණුම්කරණ ලාභය කෙලින්ම බද්දට යටත් නොවෙන බව මතක තබා ගන්න. බදු සදහා තිබෙන විශේෂිත ගැලපීම් සිදු කර බදු අරමුණු සදහා ලාභය වෙනමම ගණනය කළ යුතුයි.

ඔබ හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් නම් ඔබේ හවුල් ව්‍යාපාර ලාභ කොටසත් මේ ව්‍යාපාර ආදායමට අදාළයි. ඊට අමතරව ඔබ පෞද්ගලිකව ඔබේ හැකියාවන් මත යම් යම් සේවාවන් සපයා මුදල් සොයන්නේ නම් ඉන් ලැබෙන ලාභයත් (බදු සඳහා ගැලපූ ලාභය) බද්දට යටත්. (උදා - Freelancing income, නීතිඥ වරයෙකු කෙලින්ම සේවාදායකයන්ට සේවා සපයා ලබන මුදල්, වෛද්‍යවරයෙක් පෞද්ගලික චැනලින් සේවා තුළින් ලබන ආදායම් වැනි)

3. ආයෝජන ආදායම්

ඔබ ආදායම් ඉපයීම වෙනුවෙන් යම් යම් ආයෝජන ක්‍රම තෝරාගෙන ඇති. (උදා - සමාගම් වල කොටස් මිලට ගැනීම, බැංකු වල ස්ථාවර තැන්පතු, ඉඩමක් නිවසක් කුලියට දීමක් වැනි දේ). මේ ආයෝජන ක්‍රම වලින් ඔබට ලැබෙන ආයෝජන ප්‍රතිලාභ බද්දට යටත් වෙනවා. උදා - ඔබේ ලාභාංශ (Dividends), බැංකු පොලී ආදායම් (Interest), කුලී ආදායම් (Rent) වැනි දේ.

සරලව මෙහෙම කිව්වත් ලාභාංශ, කුලී ආදායම් වගේ දේවල් වලට අදාළ වෙන තව තව ගැලපීම් තිබෙන බව මතක තබා ගන්න. මීට අමතරව ලොතරැයි, ඔට්ටු අල්ලීම්, සූදු ක්‍රීඩා වලින් ලැබෙන දිනුම්, අධිමිල (Premiums), රාජ්‍ය බාග (Royalties) වැනි බද්දට යටත් තවත් ආයෝජන ආදායම් වර්ග බොහොමයක් තිබෙනවා.

4. වෙනත් ආදායම්

ඔබට යම් බදු වසරක් තුලදී ලැබෙන යම් විශේෂ ආදායමක් ඉහත එක මූලාශ්‍රයකටවත් ඇතුළත් කිරීමට නොහැකි නම් එය වෙනත් ආදායම් යන මූලාශ්‍රය යටතේ සලකා බලා බද්දට යටත් කළ යුතුයි. කෙසේ නමුත් මෙහිදී අනියම් සහ පුනරාවර්තනය නොවන (Profits of a casual and non-recurring nature) ආදායම් සලකා බැලෙන්නේ නැහැ .

ඉතින් ඉහත සියලු මූලාශ්‍ර වලින් ඔබට ලැබෙන මුළු වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා නම් ඔබ ආදායම් බද්දට යටත් පුද්ගලයෙක්.

ඉහත පරිදි ගණනය කළ ඔබේ වාර්ශික ආදායම ලක්ශ 15ක් කියමු. ඉහත සදහන් කළ පරිදි ඉන් ලක්ෂ 12 ක්ම බද්දෙන් නිදහස්. ඉතින්, ඉතිරි ලක්ෂ 3 ට පමණයි ඔබ ආදායම් බදු ගෙවිය යුත්තේ.

කොහොමද මේ බද්ද ගණනය කරන්නේ?🤔🤔

දේශීය ආදායම් පණතේ පළමු උපලේඛනයේ 1 (1c ) ප්රිච්ඡේදයට අනුව දැනට වලංගු පුද්ගල ආදායම් බදු ප්‍රතිශත මෙසේයි ;

පළමු 500,000 - 6%
ඊළඟ 500,000 - 12%
ඊළඟ 500,000 - 18%
ඊළඟ 500,000 - 24%
ඊළඟ 500,000 - 30%
ඉතිරි මුළු ආදායම - 36%

මුළු අවුරුද්දේම බද්ද එක පාර ගෙවන්න ඕනද? 🥴

ඇත්තටම නැහැ. අපි සාමාන්‍යයෙන් බදු වර්ෂයක් පටන් ගද්දි එම මුළු බදු වර්ෂයටම බදු ඇස්තමේන්තුවක් හදන්න ඕනා (බදු වර්ෂයක් කියන්නේ එක් වසරක අප්‍රේල් මාසේ ඉඳලා ඊලඟ වසරේ මාර්තු වෙනකන් කාල සීමාව) . මේක අපි කැමති නම් පමණක් කරන දෙයක් නෙමේ, නීතියට අනුව අනිවාර්යෙන් කළ යුතු දෙයක්.

ඉතින් මේ හදපු ඇස්තමේන්තුව අනුව මගේ වාර්ෂික බදු බැඳියාව රු. 60,000/- කියමු. මේ මුදල මට රු. 15,000/- බැගින් කාර්තු 4 කින් ගෙවන්න පුළුවන්.

අපි 2023/2024 බදු වර්ෂය (ඒ කියන්නේ 2023 අප්‍රේල් ඉඳලා 2024 මාර්තු වෙනකන් කාල සීමාව) සලකා බලමු. මේ වර්ෂයේ බදු ගෙවීම් හරියටම මෙන්න මේ දින වලට කලින් ගෙවුවොත් ඔයාට ප්‍රමාද පොලී ගෙවන්න වෙන්නේ නෑ .

* පළමු කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2023 අගෝස්තු 15

* දෙවන කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2023 නොවෙම්බර් 15

* තුන්වන කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2024 පෙබරවාරි 15

* සිව්වන කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2024 මැයි 15

ඔයාගේ මේ බදු ඇස්තමේන්තුව පොඩ්ඩක් එහාට මෙහාට වුණාට ගැටළුවක් නැහැ. යම් හෙයකින් ඔබ බදු ඇස්තමේන්තුව අනුව ගෙවූ මුළු බදු මුදලට වඩා සත්‍ය ආදායම මත ගෙවිය යුතු බද්ද (Tax payable amount on your actual income) වැඩියි නම්, හිඟ මුදල ගෙවන්න 2024 සැප්තැම්බර් 30 වෙනකන් සහන කාලයකුත් දීලා තියෙනවා.

ඉතින් ඔබ බද්දට යටත් කෙනෙක් නම් මෙන්න මෙහෙමයි ඔයාගේ බදු ගෙවීම සම්බන්ධ වගකීම ක්‍රියාත්මක වෙන්නේ. මීට අමතරව බදු ගෙවන්නෙක් විදියට ඔබට පැවරෙන අනිකුත් වගකීම් ගැන වෙනම ලිපියකින් කතා කරමු.

මම ඉහත ඉදිරිපත් කල තොරතුරු ඔබේ බදු පිළිබද සාමාන්‍ය දැනීම සඳහා පමණයි. ඔබේ බදු බැඳියාව නිවැරදිව ගණනය කරන්න තව බොහෝ තොරතුරු උවමනා වෙනවා. ඒ වගේම දේශීය ආදායම් පණතේ ප්‍රතිපාදන නිවැරදිව තේරුම් ගත්තොත් ඔබට ඔබේ ගනුදෙණු , ආදායම් නිවැරදිව සැලසුම් කරගෙන බදු බැඳියාව සැලකිය යුතු මුදලකින් අඩු කරගන්නත් හැකියාව තිබෙනවා. ඒ සඳහා සුදුසුකම් ලත් බදු උපදේශකයකුගේ මග පෙන්වීම ලබා ගැනීම ඉතා වැදගත් බවත් මතක් කරන්න කැමතියි.

බදු ගැන ඔබේ ගැටළු අපිට ඉදිරිපත් කරන්න.
Voice or Whatsap +94 78 49 46 723

තොරතුරු ඉදිරිපත් කරන්නේ :

නීතීඥ හේෂානි ජයතිස්ස
වරලත් බදු උපදේශක - FCIT (SL)

සබැඳිය 1 - විසාල කරදරයක් වුණු TIN එක
https://m.facebook.com/story.php?story_fbid=122095432940187568&id=61555627045017&mibextid=Nif5oz

සබැඳිය 2 - පිටරට ඉන්න මටත් TIN එකක් ඕනද?
https://m.facebook.com/story.php?story_fbid=122095441322187568&id=61555627045017&mibextid=Nif5oz

කතෘ අයිතිය සුරකිමින් මෙම ලිපිය බෙදා ගැනීමට ඔබට අවසරයි 🤗

09/01/2024

පිටරට ඉන්න මටත් TIN එකක් ඕන ද ? 🙄🧐

පිට රට ගිහින් ඉන්න ඔයාලට තමයි මේ ලිපිය. මම දන්නවා මේ වෙද්දී ගොඩාක් රට ඉන්න අය මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නැතුව අරගෙන් මෙයාගෙන් අහ අහ ඉන්නවා. එන්න අපි ඒ ගැන හරියට දැනගනිමු...🤗

2024 ජනවාරි 01 වනදා වෙනකොට අවුරුදු 18 ට වැඩි හැම කෙනෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (Taxpayer Identification Number - "TIN") ගන්න ඕන කියලා අපි දන්නවා. ඒ ගැන මගේ පෙර ලිපියක් තියනවා. (ලින්ක් එක පහලින් දාන්නම්). මේ නීතිය ආවේ අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරණ ගැසට් නිවේදනය හරහා. එම ගැසට් නිවේදනයේ විශයභාර අමාත්‍යවරයා සඳහන් කරලා තියනවා TIN එකක් ලබාගත යුතු අමතර පුද්ගල කණ්ඩායම් කවුද (Additional classes of persons) කියලා. එතැනදී කියන්නේ _ලංකාවේ වාසික තැනැත්තන් වන (Resident persons)_ 2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වෙනිදායින් පසු අවුරුදු 18 ලබන සියලු දෙනා 18 ලැබීමෙන් පසුව බදු සඳහා ලියාපදිංචි විය යුතු බවයි.


කවුද මේ ලංකාවේ වාසික තැනැත්තන් කියන්නේ ? 🤔🤔

2017 අංක 24 දරණ සංශෝධිත ආදායම් බදු පණතේ 69(1) වගන්තියේ කියනවා මෙම පහත පුද්ගලයන් බදු කටයුතු සදහා ලංකාවේ වාසික තැනැත්තන් වෙනවා කියලා.

1) ඔහු ලංකාවේ වාසය කරයි නම්

2) ඔහු යම් බදු වසරක් තුල ලංකාවේ කායිකව (physically) සිටී නම් සහ එම කායිකව සිටීමේ කාල සීමාව හෝ කාල සීමාවල එකතුව මාස 12ක කාල සීමාවක් තුලදී ,දින 183ක් සපුරයි නම් හෝ ඊට වැඩි නම්

3) ඔහු ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු හෝ නිලධරයෙකු වේ නම් සහ ඔහුගේ කලත්‍රයා අදාළ බදු වර්ෂය තුල විදේශයක සිටී නම්

4) ඔහු ශ්‍රී ලංකා නෞකාවක සේවයේ නියුක්තව සිටී නම් එම සේවයේ නියුක්තව සිටින කාල සීමාව තුළ

ඉතින් ඔයා මේ උඩ කියන කැටගරි එකකවත් නැත්නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Resident) නෙමේ. එහෙනම් ඔයාට TIN එකක් ඕනා නෑ.

උඩ කියපු (2) වෙනි කාරණාවනේ ගොඩක් අයට අදාළ වෙන්නේ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කියන්නම්.

හිතන්න ඔයා පසුගිය මාස 12 තුල (මෙතනදි මාස 12 කියල කිව්වම ඒක ජනවාරි සිට දෙසම්බර් වෙන්න ඕනම නැහැ, ඕනම මාස 12ක කාලයක් හොඳේ. ඒ කියන්නේ 2022 නොවැම්බර් ඉඳන් 2023 ඔක්තෝබර් වගේ කාලයක් තුළ වෙන්නත් පුළුවන්) දින 183 කට වඩා ලංකාවේ කායිකව (physically) ඉඳලා තියෙනවා නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Sri Lankan Resident). එහෙනම් ඔයාට TIN එකක් ගන්න වෙනවා. මේ වාසිකභාවය (Residency status) IRD එකෙන් ප්‍රැක්ටිකලි චෙක් කරන්නේ ඔයාගෙ පාස්පෝට් එකේ Immigration එකෙන් තියල තියන සීල් වල දිනේ බලලා සහ අනිකුත් උපකාරක ලියවිලි වලින්.

ඉතින් ඔයා නිතර ලංකාවට යන එන කෙනෙක් නම් පොඩි වෙලාවක් අරන් හදල බලන්න ඔයා පසුගිය මාස 12 තුළ දින කීයක් ලංකාවේ ගත කරලා තියෙනවද කියලා. ඒ අනුව ඔයාටම තීරණය කරන්න පුළුවන් මට TIN එකක් ඕනද නැත්ද කියලා.

ඔයා රට ගියේ ලඟකදී එන්න නෙමෙයි නම් ඉතින් බය නොවී ඉන්න. හැබැයි ලංකාවේ ඉන්න ඔයාගේ පවුලේ අයට TIN එක ලබා ගැනීම අනිවාර්ය බවත් අමතක කරන්න එපා.

කොහොම වුනත් බදු සම්බන්දව කටයුතු කරද්දී කවුරුවත් කියපු දෙයක්, කොහෙන්වත් දැකපු දෙයක් හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරනවට වඩා සුදුසුකම් ලත් බදු උපදේශකයෙක්ගේ උපදෙස් ලබා ගන්න එක නුවණට හුරුයි කියලත් මතක් කරනවා.

බදු ගැන ඔබේ ගැටලු විසඳන්න අපි සූදානම් 🤗

වට්ස්ඇප් පණිවිඩයක් හෝ ඇමතුමක් දෙන්න
+94 78 49 46 723.

#

09/01/2024

විසාල කරදරයක් වුනු TIN එක 😵‍💫🥴

TIN එක කියන්නේ මේ දිනවල නිතර කතා බහට ලක් වෙන මාතෘකාවක්, ඒ වගේම මේ පිළිබඳව ගොඩක් වැරදි තොරතුරුත් හුවමාරු වෙනවා දුටු නිසාමයි මේ ගැන ලිපිය ගෙන එන්නේ.


මොකක්ද මේ TIN එක ? 🤔🤔

බදු ගෙවන්නෙකු ලෙස ආදායම් බදු දෙපාර්තමේන්තුවේ (IRD එකේ) ඔබට ලියාපදිංචි වීමට අවශ්‍ය නම් මුලින්ම ඔබ කල යුත්තේ බදු ගෙවන්නා හදුනා ගැනීමේ අංකයක් (Taxpayer Identification Number - "TIN") ලබා ගැනීමයි. මේ බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය (TIN) රටේ පුද්ගලයන්ට තිබෙන ජාතික හැදුනුම්පත් අංකය වගේම බදු සම්බන්ධ ව ඔබට ලැබෙන අනන්‍ය වූ අංකයක්.

NIC එක ඇතුලු මූලික ලියවිලි කිහිපයක් සමග අයදුම්පත ආදායම් බදු දෙපාර්තමේන්තුවට (IRD එකට) භාර දීමෙන් හෝ IRD E-Service එක හරහා මාර්ගගතව (online) මෙය ලබා ගත හැකියි. මෙය කළ පමණින් කෙනෙක් ආදායම් බද්දට යටත් වීමක් කිසි සේත්ම සිදු වන්නේ නැහැ.

ඔබේ ආදායම් බදු බැඳියාව 😑😌

TIN එකට අයදුම් කළ විට ඔබට IRD එකෙන් දින කිහිපයක් ඇතුලත TIN Certificate එක තැපෑලෙන් හෝ ඊමේල් හරහා එවනවා. ඒ සමඟ IRD E-Service එක ට ලොග් වීම සදහා PIN එකකුත් ඔයාට IRD එකෙන් එවනවා. ඔබට එම PIN එක භාවිතා කරලා IRD Web Portal එකේ ඔබට profile එකක් හදා ගන්න පුළුවන්.

2017 අංක 24 දරණ සංශෝධිත ආදායම් බදු පණතට අනුව ඔබේ මාසික ආදායම රු. 100,000/- ඉක්මවන්නේ නම් හෝ වාර්ෂික ආදායම රු. 1,200,000/- ඉක්මවන්නේ නම් ඔබ ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයෙක්.

දැනට වලංගු පුද්ගල ආදායම් බදු ප්‍රතිශත මෙසේයි ;

පළමු 500,000 - 6%
ඊළඟ 500,000 - 12%
ඊළඟ 500,000 - 18%
ඊළඟ 500,000 - 24%
ඊළඟ 500,000 - 30%
ඉතිරි මුළු ආදායම - 36%

ඔබ ඔබේ ආදායම තක්සේරු කර ඉහත කී සීමාව (මාසික ආදායම රු. 100,000 හෝ වාර්ෂික ආදායම රු. 1,200,000) ඉක්මවන්නේ නම් ආදායම් බද්දට වෙනම ලියාපදිංචි විය යුතුයි. Tax Type Registration කියලා තමා මෙය හඳුන්වන්නේ. වෙනම අයදුම්පතක් මේ සඳහා තියනවා. TIN registration එකෙන් පසුව ඔබ IRD E-Service එකේ ඔබේ profie එක හදා ගත්තොත් ඒ හරහාත් ඔබට Tax Type එකට ලියාපදිංචි වෙන්න පුළුවන්.

ආදායම් බදු සදහා මේ විදියට ලියාපදිංචි වුනු පසු ඔබට කාර්තුවෙන් කාර්තුව බදු ගෙවන්න, වාර්ශිකව බදු වාර්තාවක් (Return of Income) බාර දෙන්න වගේ වගකීම් කිහිපයක් පැවරෙනවා. මේවා අදාල දිනවලට (statutory due dates) නිසි ලෙස සිදු කිරීමෙන් අනවශ්‍ය ගැටලු සහ දඩ ගැසීම් (penalty) මග හරවා ගත හැකියි.


දැන් ඔබ TIN එක ලබා ගැනීම අනිවාර්යද? 😱😱

ඔබට 2024 ජනවාරි 01 වන දා වන විට වයස අවුරුදු 18 ට වැඩි නම් ඉතා ඉක්මනින් TIN එකක් ලබා ගැනීමට යොමු වෙන්න.

අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරන ගැසට් නිවේදනයේ විශයභාර අමාත්‍යවරයා සඳහන් කරලා තියනවා TIN එකක් ලබාගත යුතු අමතර පුද්ගල කණ්ඩායම් කවුද (Additional classes of persons) කියලා. ඒ ගැසට් එකේ තමයි ලන්කාවේ වාසික තැනැත්තන් වන (Resident persons) _2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන්_ සහ _2024 ජනවාරි 01 වෙනිදායින් පසු අවුරුදු 18 ලබන සියලු දෙනා 18 ලැබීමෙන් පසුව_ බදු සඳහා ලියාපදිංචි විය යුතු බව සදහන් වෙන්නේ.

මේ ගැසට් එක සම්පූරණයෙන්ම නීතියෙන් වලංගු ගැසට් එකක්. මොකද ඉහත කී ආදායම් බදු පනතේ 102(3) වගන්තියේ පැහැදිලිවම කියල තියනවා ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් ගේ අනුමැතිය ඇතිව විෂයභාර අමාත්‍යවරයාට, අමතරව බදු සදහා ලියාපදිංචි විය යුතු පුද්ගල කණ්ඩායම් නම් කරන්න බලය තියනවා කියලා.

එහෙමනම් අර‍යගෙන් මෙයාගෙන් අහ අහ ඉන්න එපා. 😎

හැකි ඉක්මනින් TIN එකක් ලබා ගන්න.

ආදායම් බදු පණතේ ප්‍රතිපාදන හරියට දන්නවා නම් ඔයාට පේනවට වඩා ගොඩාක් වාසි ගන්නත් පුළුවන්. ඔයාගේ පුද්ගලික ආදායම් බද්ද හෝ ව්‍යාපාර ආදායම් බද්ද නිසි ලෙස සැලසුම් කරගෙන බදු බැඳියාව අවම කරගන්න අතරම, රටේ බදු නීතියටත් නියම විදියට අනුගත වෙන්න නම් සුදුසුකම් ලත් බදු උපදේශකයෙක්ගේ උපදෙස් ලබා ගන්න කියලත් මතක් කරනවා.

බදු ගැන ඔබේ ගැටලු විසඳන්න අපි සූදානම් 🤗

වට්සැප් පණිවිඩයක් හෝ ඇමතුමක් දෙන්න.
+94 78 49 46 723.


#

Want your business to be the top-listed Accountant in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


542, Peradeniya Road
Kandy
20000